මහ හිනාව
මහන්තත්තේ අහසට උසයි
ඊරිසියාව මූල් බැහැලා
මහා වෛරෙන් බලන්නේ
දුප්පත් ගෙදර කොල්ලා
ඉගෙන ගන්න දරන වෑයම
ඒ නිච මුසලයෝ
ලොක්කෝ වෙන්නද බලන්නේ
අපේ උන් සොක්කෝ වේවිද
බෑ මේවා බලාගෙන
ඉවසලා ඉන්න බෑ
“පොලිසියේ ලොක්කෝ
බලපන් මේක
අල්ලපු ගෙදර කොල්ලා
අපේ කෙල්ලට ඔච්චන් කරනවා
උගන්නපන් උන්ට පාඩමක්”
කොල්ලා අල්ලන් ඇවිල්ලා
බාල්කෙක එල්ලලා
අතින් පයින් පොල්ලෙන් තලලා
සිහි නැති වෙනකම්ම
ගැහැව්වා ගූ හුජ්ජ යනකං
මලගෙදර කළු කොඩි
සීයලා අම්මලා වැලපෙනවා
දුප්පත්කම නිසයි මේ කියලා
අල්ලපු ගෙදර මහ මිනිහා
සන්තෝසෙන් හිනා වෙනවා